Wednesday, May 18, 2011

පෙරවදන...

නිකං ඉන්න බැරුවට බ්ලොග් එකක් පටන් ගත්තට මොකද, අවුරුදු තුනක් විතර ගියා මුකුත් ම නැතුව!
ඒකෙන් මොකද්ද කියවෙන්නේ...
ඒකෙන් කියවෙන්නෙ මට නිකං ඉන්න පුළුවන් කියන එක...
ඇත්ත තමා, මම හිතං හිටියට මට නිකං ඉන්න බැහැ කියල, මට දැන් හොඳට නිකං ඉන්න පුළුවන්...
ඒත් මට එහෙම මං ගැන වැරදියට හිතිල තියෙන්නෙ වැරදිලා කියල ඔයාට හිතෙනව ද?
වැරදියි! ඔයාට එහෙම හිතෙනවනම් මට එහෙම මං ගැන වැරදියට හිතිල තියෙන්නෙ වැරදිලා කියල, ඔයා වැරදියි!
මොකද මට දැන් අපූරුවට නිකං ඉන්න පුළුවන් උනාට ඉස්සර මට එක තප්පරයක්වත් නිකං ඉන්න පුළුවන් වෙලා නෑ...
ඇයි මම එච්චර විශ්වාසෙන් එහෙම කියන්නෙ. එහෙම කියන්නෙ මං ගාව ඒකට සාක්ෂි තියන හින්ද...
ඔව්, මට ඉස්සර හොඳටම පිස්සු කියල ඔප්පු කරන්න මං ගාව සාක්ෂි තියනවා.
ඒක මට හම්බ උනේ අද. මගේ පරණ පොත් ගොඩක් අස්සෙ තිබිල. මීට අවුරුදු දාසයකට කලින් මම නිකං ඉන්න බැරුවට ලියපු පොතක්!
ඒකෙ තියෙන්නෙ තනිකරම විකාර! ඒව මම කවදාවත් ම, කාටවත් ම බලන්න ලියපුව නෙමේ.
කොටින් ම කියනවනං ඒ පොතේ පිටකවරෙ තඩි අකුරින් මම ලියල තියනවා “අත තැබීම තහනම්“ කියලා. ඒ විතරක් නෙමේ, පොතකට අත තියන පින්තූරයක් ඇඳලා ඒක කතිරෙකින් කපලා... හරියට අර බස්වල සිගරැට් එක ඇඳල කපල තියනව වගේ...
ඒ පොත එච්චරට ම ප්‍රයිවට්!
ඉතිං...
ඉතිං දැන් මොකද්ද අපිට කරන්න කියන්නෙ කියල ඔයාට හිතුන ද?
බය වෙන්න එපා, මම ඔයාට මුකූත් කරන්න කියන්නෙ නෑ... ඔයාට තියෙන්නෙ කම්මැලි නම් මැෂින් එක වහල නිදා ගන්න එක...
ඒත් මම දැන්ම නිදියන්නෙ නෑ...
ඒ මොකද, මට තාම නිදිමත නෑ...
මගෙ ඔළුවට මහ දරුණු අදහසක් ඇවිත් තියෙන්නේ...
ඔයා බයවෙන්න එපා... ඔයාට මුකුත් කරන්න නෙමෙයි...
මම මීට අවුරුදු දාසයකට කලින් කාටවත් බලන්න දෙන්නෙ නෑ කියල පරසක්වල ගහල දිව්රල ලියපු විකාර ටික ‘ඕන එකෙක් ඉන්නවනං බලා ගනින්‘ කියල, මේ බ්ලොග් එකේ දාන්න මට හිතිල තියෙන්නේ...
ඇයි ඒ... මම මගෙ අතීතයත් එක්ක තරහ හින්ද ද?... නෑ, කොහෙත් ම නෑ...
මට ඉස්සර හොඳටම පිස්සු කියල ලෝකෙට ම කියන්න ද?... නෑ, ඒත් නෑ...
මට දැනටත් නිකං ඉන්න බැරි හින්ද ද?... එහෙමත් නෑ...
නෑ... හැමදේට ම හේතුවක් තියෙන්න ඕනෙ නෑනේ...
බෑ බෑ, ඒක හරියන්නෙ නෑ, ඒක මම අදහන ආගමට දහමට විරුද්ධයි. හැම දේටම හේතුවක් තියනවා.
හැබැයි මම ඒක දන්නෙ නැතුව ඇති...
කොහොම උනත්, මම ඒ විකාර පොතේ තියන ඒව එක එක මේකෙ ලියනවා...
ඒව, ඒ විදිහට ම ලියනවා... සංශෝධන, සංස්කරණ නෑ...
කියවන අයෙක් කියවත්වා!
අවසානයේ තමන්ගේ වටිනා කාලය අපතේ යැවීම නිසා මා පිළිබඳ ද්වේශ සිතක් පහල කර ගන තම තමන්ගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා විනාස නොකර ගනිත්වා!

-මං

No comments: