වෙලාව මහ රෑ හයයි විසි හතරයි තප්පර හතළිස් පහයි දශම දෙකයි හතයි තුනට විතර ඇති. තාම දවල්ට කෑවෙත් නෑ. රේඩියෝ එක මගෙ කණ ගාව ඉදන් කෑ ගහනව. මොනව ද මන්ද විකාර සිංදු යනව. මං බැලුව මිදුල දිහා. වහිනව... අකුණු ගහනව... ගං වතුර ගලනව... එක විකාරයයි. මම තේ බොන්න බැලුව. බැලින්නම් අක්කල තේ වක්කරල බීල, තිබ්බ ටික නිබිල, බීපුව දිරෝල, පැය ගානක් ගිහින්. මට අම්බානෙක තද උනා. ඉස්කෝලෙ වැඩ තියනව අහස උසටත් වැඩිය. මං ඉදන් විකාර ලියනව. විකාරයක් නෙමේ බලපුවහම. මං මේ කථාවක් ලියන්නයි හදන්නෙ. ඒත් කෝ... හොඳ අයිඩියා එකක් එන්නෙ නැහැනෙ. ඔක්කොම පරණ කියෝපු කථාවල අන්තර්ගත ස්ටෝරිය. මගේ ම නිර්මාණයක් කරන්න මං ගත්තු උත්සාහ සියල්ල ම ව්‍යර්ථ වෙලා ගියා මොනවට ද මොකද්ද දැම්ම වගේ. ඒ හින්ද මං කථා ලිවීම අත ඇරල දාල යාළුවෙකුට ලියුමක් ලියන්න පටන් ගත්ත. බෑ... හරියන්නෑ වැඩේ. නෝ අයිඩියාස්! ඒකත් අල්ලලා දැම්ම. දැන් මොකද කරන්නෙ. මුකුත් කරන්න එපා, ඉස්කෝලෙ වැඩ කරනව කියල හිත කිව්ව. මං හිතට බැනල එලෝගත්ත. හිත එනව මට උපදෙස් දෙන්න.
මල්ලි කෙටි කථා පොතක් බලනව. ඒකෙ කථාවක් හොරකං කරගන මං ලිව්ව වගේ පත්තරේට දාන්න මට හිතුණ. ඒත් බොරුවෙන්, ප්‍රෝඩාවෙන්, මගෝඩියෙන්, ජඩයෙන් කථා ලියල ඇති පලේ ගැන හිතල අල්ල දැම්ම ඔක්කොම. ඒ අල්ල දාපු පාර මගෙ පෑනත් විසි වෙලා ගියා. මම ආපහු මගෙ අල්ල දැමීමට ම බැණ බැණ කුණු ගොඩ ගාවට ගිහින් බොරුවට, ප්‍රෝඩාවට, මගෝඩියට, ජඩයට යට වෙලා දිරලා කුණුවෙලා ගිහිං තිබ්බ පෑන අහුලං ආවා. ඒක හෝදන්න ම අවුරුදු දහයක් විතර ගියා. දැන් ඉතිං කථා ලියන්න බෑ... පෑන හෝදන්න ම අවුරුදු දහයක් ගිය හින්ද මට බය හිතුණ. බැරි වෙලාවත් පොතක් හොයන්න, කථාවක් හදන්න වගේ වැඩවලටත් එච්චර කල් ගියොත්... අම්මෝ මට හීං දාඩිය දාල, සිහි නැතිවෙලා ගිහිං ජබර කලන්නෙත් හැදුණ. ඒක හින්ද ආයෙ ජීවිතේට ම කථා නොලියමි‘යි තදින් හිතා ගත්ත. කොච්චර තද ද කිව්වොත්, හිත තදවෙලා චප්පවෙලා ගියා. හිත යථා තත්වයට පත් වුනේ මං ගිහිං මගෙ තදේට කෝට්ටකින් හොඳ දෙකක් දුන්නට පස්සෙයි. මං දෙකක් දුන්න කියල තදේට තදවෙලා යන්න ගියා. අනේ එතකොට මගෙ කථා ලිවීමේ අදහස ලත් බුරුලින් දනි පනි ගාල එළියට පැන ගත්ත. ඕං ඉතිං දැන් ඒ කෙහෙම්මල් අයිඩියා එක ආයෙ හොල්මන් කරන්න පටන් ගත්ත. මට නැග්ග අසූ හාරදාහට. තවත් ඉහළට නැග්ගොත් බැහැගන්න බැරිවෙයි කියල ඊට වැඩිය නගින්න මං මට ඉඩ දුන්නෙ නෑ.
ඉතිං මං අර පිස්සු අයිඩියා එක අල්ලල, නූලකින් බැඳල, ගඟට තල්ලු කරා. ජබෝං ගාල මුළු ගඟ ම කළඹල, වතුර දෙපැත්තට විසි කරගෙන අයිඩියා එක ගඟට වැටුණා. ගඟෙන් වතුර ගොඩ දාපු පාර අපේ ගේ ළඟට ම ආවා. ගේ යටවෙයි කියල බයේ මම දඩිබිඩි ගාල දුවගෙන ඇවිල්ල වතුර ටික අල්ලල මුහුදට දැම්ම. ඒ අස්සෙ මුහුද කියපි ලුණු නැති වතුර බාර ගන්න බෑ කියල. ඒ ගමන මම ලුණු පොල් කට්ටක් අරගෙන වතුරට ලුණු පෙව්ව. වතුරට වමනෙ ගියා. හරි යන්නෑ වැඩේ. මං කරපු වැඩේ වතුර ටික අල්ලල හොඳට ලණුවලින් බැඳල, හෙල්ලෙන්නවත් බැරි වෙන්න ගහක බැන්ද. ඊට පස්සෙ කෝට්ටක් අරගන, ආයෙ ගේ යට කරන්න එනව ද කියල අහ අහා තැලුව. වතුර බයවෙච්ච පාර ආතබූත කඩාගන, කැලේ දෙවනත් කරගන, වල් බූටෑ බිඳගන දිව්ව. මං එලෝ එලෝ ගැහුව. වතුරට හොඳ මොළයක් ඇවිල්ල, එකපාරට ම හැරිල මාව බෙල්ලෙන් ම අල්ලං කිහිල්ලෙ ගහගන කුදලාගන ගෙනිච්ච. මට බය හිතුණ. මේ බූතය මට මොනව කරයි ද කියල. මං දුන්න වතුරට කණ පැලෙන්න. වතුර කණත් අල්ලං කොර ගහ ගහ ගියා. මං දමල ගහල ආව එන්න.
මොන ඉලව් හරි වෙලා පොත ලිවීමේ අදහසින් ගැලවුනානෙ කියල හිතල මම සතුටෙ උඩ පැන්න. පැන්න පාර ඔළුව වහලෙ හැප්පිලා වහලෙ ගැලවිලා වීසි උණා. මම කැලේ පීරල පීරල වහලෙත් හොයාගන එනකොට, වතුරය තව හෙණ සේනාවකුත් එක්ක මඟ රැකගන ඉන්නව මගෙන් හේදම ගන්න. වතුරගෙ කණ පැලිල ලේත් එනව. වතුර මං දිහා ඔරෝල බැලුව. මං කරපු වැඩේ මගෙ අතේ තිබ්බ වහලෙ අරං වතුර එක්ක සටනට ඇරිය. වහලෙයි වතුරයි හබරල ගාල් පොඩි කරගන යුද්දෙ. හරියන්නෑ... වහටල පසුබසින පාටයි. මක් කරන්න ද? මං පරාදෙ පිළි අරගන වතුර රජාගෙන් සමාව ඉල්ලං වහලෙත් කර තියාගන එන්න ආව. ආව විතරයි වහලය වහලෙට පැන ගත්ත. මට පනින්න තැනක් නෑ... මම පුටුවට පැන්න. දැං මං පුටුවේ. මං වෙලාව බැලුවා... මට කලන්තෙ දැම්ම. වෙලාව මධ්‍යම රාත්‍රී හතයි විනාඩි පහයි.
94-10-08
No comments:
Post a Comment