(නිසි කළ බිහිවීමට අවසර නුදුන් නිසා කුස තුළ ම මිය ගිය ‘සිකුරු තරුව‘ නම් මාගේ කුළුඳුල් සහ අවසන් කෙටි කථා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී)
මගෙ නම දොන් ජුවන් පීටර් අප්පුහාමි, මම ඉපදුනේ වර්‍ෂ 1863 මැයි 12 වෙනිදා, මගේ ලිපිනය..., කියමින් ඔහු තමන් ගැන විස්තර කිරීමට පටන් ගත්තේ ය. මම එය ඕනෑවට එපාවට මෙන් සවන් දීගෙන සිටිමි. මට නිදිමත ගතියක් ද දැනුණි. එය කොතරම් දැයි කිවහොත් මට විශාල ඈනුමක් ගියේ ය. මගේ කට ඉරෙයි කියල හිතපු සිරකරුවා පැන්න ගමන් මගෙ කට අල්ලා තද කෙරුවේ ය. මට අම්බානට තද වුණි. මම ඔහුගේ ලිපිනය ඉල්ලා ගත්තේ, එමඟින් මගේ කට මිරිකුවාට ඔහුට බැණ ලිපියක් යැවීමට ය. මොහු සිරකරුවෙකි. අල්ලා ගත්තේ වතුරේ දී ය. මොහු අල්ලා ගන්නා විට හොඳට ම හෙම්බත් වී බල්ලෙක් මෙන් හති හලමින් සිටියේ ය. මම ඔහුව කරෙන් අල්ලාගන ඇදගන ආවෙමි. මොහු කළ වරද නම් මට බූරුවා‘යි කියමින් පැණ දිවීම ය. පෞද්ගලික රහස් එළි කිරීමේ වරදට මොහුට දැන් විනාඩි දොළහක බරපතළ වැඩ සහිත හිර දඬුවමක් දී ඇත. මොහු දැන් හිරෙන් පැන මා ළඟට ඇවිත් ඉන්නේ තමන් කවුදැයි කියා දීමට ය. ඔහු අත දිගු උල් පිහියක් ද තිබුණි. ඔහු එන් දුටු මට සිහි නැති විය. ඔහු ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලා මහත්තයා නිදිදැයි කියමින් හැකර කට ඇර කෑ ගැසුවේ ය. මට සිහිය ආවේ ය. ඔහු පිහිය ද දිගු කරගන තමා පිළිබඳ විස්තර පවසන්නට විය. තමා ඩී ජී පී ඒ හාමි බවත්,ඉපදුනේ 1963 කවද ද මන්ද බවත් මොහු කියාගන ගියේ ය. මට ඈණුමක් ගියේ එවිට ය. මට මොහුගේ පිහිය දිහා බැලුණි.එය දිළිසෙමින්, සිනාසෙමින් මා දෙස ට දික් වී තිබේ. දැන් නම් ගැලවීමක් නැතැ‘යි මට සිතුණි.
මට එකවරම මම මාසයක් පමණ ගොස් නාස් පොල්ල කැඩී අතරමග නවතා දැමූ කරාටේ පන්තිය සිහි විය. එහි දී මා මාසය තුළ උගත් දැනුමෙන් මොහුව දමනය කිරීමට මට සිතුණි. මම වේගයෙන් පුටුව උස්සා නැගිට ඔහුට පුටුවෙන් දමා ගැසීමි. එතැන තිබූ මේස පුටු ඇඳන් කොට්ට මෙට්ට සේරම පෙරළාගන ඔහු බිම වැටුනේ ය. පිහිය ඔහු අතින් ගිලිහී තිබුණත් ඔහු ක්ෂණයෙන් ඒ දෙසට ඇදෙනු මම දුටිමි. වහා ක්‍රියාත්මක වූ මාගේ දකුණු පාදය නැවතුණේ පිහියේ මිටේ ය. පිහිය නැවතුණේ ගහක ඇනීමෙනි. ගහ කොහේවත් නැවතුණේ නැත. නවතින්න කොහේවත් ගියේත් නැත. ගස තිබුණු තැන ම තිබූ බව මම පසුව දැන ගතිමි. ඔහු දෑස කරකවා වියරුවෙන් මෙන් මා දෙස බැලුවේ ය. මට කරාටේ අමතක වී මා පාසලේ දී මීටර් 100 දිවූ හැටි මතක් විය. එහෙත් මගේ හිත කීවේ ‘බය වෙන්න එපා, සටන් කරමු‘ කියා යි. මොන සටන් ද? මගේ කකුලුත් පණ නැත. හදිස්සියේ ම මගේ ගණ දෙවි නුවණට පහළ වුනේ අපූර්ව අදහසකි. එනම් මේ හොරාව අල්ලා ගස් බැඳ ඇති තරම් ගැසීම යි. එහෙත් මොහුව අල්ලා ගස් බඳින්නේ කවු ද? එය බලළාගේ කරේ මිණි ගෙඩිය එල්ලීම වාගේ වැඩකි. මොහු මා මෙන් පසු ගුණයක් පමණ විශාල හැඩිදැඩි තක්කඩියෙකි.
මොහු වහා නැගිට මාගේ බෙල්ලෙන් අල්ලා සෙලවීය. මම තප්පරයට පනස් වාරයක් පමණ වේගයෙන් කම්පනය වීමට පටන් ගතිමි. ඔහු මාගේ බෙල්ලෙන් ඇල්ලූ පාර මට දෙලෝ රත් විය. වහා ක්‍රියාකාරී වූ මා ඔහුගේ මූණ හරහා වේගයෙන් මුෂ්ටි පහරක් එල්ල කළෙමි. ඒ සද්දන්තයාගේ ඔළුවෙන් තරු විසි වෙනු මා දුටිමි. මම ක්ෂණයෙන් මා වඩාත් ම ප්‍රිය කරන සිකුරු තරුව විසිවෙනවාදැයි බැලූ නමුත් ක්ෂණයෙන් ඒ තරු ඇති වී නැති වී ගියේ ය. ඊළඟට ආවේ සද්දන්තයාගේ ටර්න් එකයි. ඔහු හොඳට ව්‍යායාම කර ඇඟ මසාජ් කර ගනිමින් මා හට එල්ල කරන්නට දැවැන්ත පහරක් සූදානම් කරමින් සිටියේ ය. මට අම්බානට තද වුණි. මා බෙල්ලෙන් අල්ලා ආ මේ දැවැන්ත සිරකරුවා මට පල් පාට් දාන්න එන බව දැනුණු මගේ ඇඟ නලියන්නට විය. කෝපයෙන් මත් වූ මම දත් මිටි කමින් ඔහු දෙස බැලුවෙමි. ඔහු දැවී පිච්චී අලු වී ගියේ ය. මගේ කාමරයත් පිච්චේදැයි බයෙන් මා මගේ කෝපය නිවා ගත් නමුත් මා ප්‍රමාද වැඩි ය. මගේ පොත්පත් ලිපිලේඛනවලට ද, මට ද, මගේ ඇදුම්වලට ද ගිනි ඇවිලී තිබුණි. මම බයේ කෑගැසුවෙමි.
ඒ එක්කම මගේ පිටට වැදුණු පහරකින් මා අවදි විය. මොකද බණ්ඩො කෑ ගහන්නෙ කියමින් මා මිත්‍ර පණ්ඩා එතැනට පැමිණියේ ය. මා මෙතෙක් වෙලා දුටුවේ හීනයක් බව දැනුණු මට පොළව පළාගන යන්නට හිතුණි. මා ලජ්ජාවෙන් මිරිකෙමින් වටපිට බැලුවෙමි. සිරකරු විනාඩි දොළහක් වූ දඬුවම් කාලය අවසන් කොට පැදුරත් අකුළා කොට්ටයත් කිහිල්ලේ ගසාගන යන්නට සූදානම් වෙමින් සිටියේ ය. ඔහුව සිර කළේ බරපතල වැඩ සහිතව මුත් ඔහු එම විනාඩි දොළහ සැපට නිදියාගන සිට ඇත. එහෙත් මා සිහිනෙන් දුටු පරිදි සියල්ල සිදු වීමට පෙර ඔයාකාරයට ඔහුට යන්නට දීමට මා සිතුවෙමි. ඔහු මා ළඟට අවුත් දිව දික්කර තමා යන බව පැවසීය. “ආයෙ කාගෙවත් පෞද්ගලික රහස් හෙළි කරන්න යන්න එපා“, මම අවසන් වරට ඔහුට අවවාද කළෙමි. ඔහු මගේ කණට ද දෙකක් දී බොහොම ශාන්තව මගේ කාමරයෙන් පිට වී ගියේ ය. ඔහු දුන් පාරට මගේ කණින් විසි වූ තරු අතර සිටි සිකුරු තරුව මම සොයා ගතිමි.
94-10-22
No comments:
Post a Comment