Monday, May 30, 2011

08.) මහතැනගේ භීතිය

08.) මහතැනගේ භීතිය
ඉඳින් මීට අවුරුදු දහස් ගණනකට ඉහත සිදු වූ දුර්ලභ කථා පුවතක් ඔබට පවසන්නෙමැ යන චින්තනයැ  කෑදර කුහුඹු පෝතකයෙකු පැණි මුලකට ඇදෙන්නා සේ මාගේ චිත්ත සන්තෑනය දෙසට ඇදෙමින් පැවතියේ යැ. ඒ අමිහිරි පුවත මාගේ සවන් වැටුණු කල්හි මාගේ ශරීර කූඩුව භියෙන් ත්‍රස්තව පාෂාණීභූතව ගියේ යැ. ඉතිනුත් නොනැවතී මාගේ ප්‍රෞඩ පෞර්ෂත්වයෙන් හා නැණ බුද්ධියෙන් විභූෂිත වූ චිත්ත සන්තානයන් තෙම භියෙන් ඇළලී, මහා මාරුතයෙන් නොසැලී ගත් ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල්වී ඉඳිමී‘යි ගත් අදහස් සුණුවිසුණුව ගොස් මුලින් කපා ලූ කෙසෙල් කඳක් සේ ඒ පුවත් ඉදිරියේ දණ බිම නැමුවේ යැ.
ඉදින් නම් ගැලවීමක් නැතැයි සිතූ මා ඒ දුෂ්ට අදහසට කියන්නේ, මා කථාවක් කීමට සැරසෙන්නෝ යැ. එයට සූදානම් වනු වස් මා කියූ මහා හූ හඬට බිය ගත්හි සියළු සත්වයෝ සේම සේම තැන්වලට හා හිස් ලූ ලූ අත දුවන්නන් වාලේ දිවයන්නේ, සමහරු මහා ආවාටයන්හි ද, තවත් අය ආවාට පරදන විශාල වලවල්වල ද, තවත් කෙනෙකුන් මඩ, අසුචි, මල මූත්‍ර, පල් වතුර, මළ මී කුණු ආදී පංචකල්‍යාණයෙන් නොඅඩු, නැහැය අකුළුවන මහා දුර්ගන්ධයකින් විභූෂිත, නයනාභිරම්භණී අයස්කාන්ත මහා ජලාශයන්ට ද ඇද වැටුනාහ.
මෙය දුටු මා දැන් ඉතින් කාට කථා පවත්වන්නේ‘දැයි මිහුඬුහුරුලමින් හද්පත්ලෙන් නැගෙන මහා ශෝකයෙන් හඬන්නේ, මාගේ නේත්‍රා යුග්මයෙන් ගැලූ කඳුළු ගංගාවෝ අසල්වාසී ගම් නියම්ගම් යටකරමින්, මහා වෘක්ෂයෝ නෙළුඹු දැළියක් උදුරන්නා සේ බිම ඇද දමමින්, යකඩින් බැඳි මහා සඳළු මකුළු හුහක් කඩන්නා සේ බිඳ දමමින්, සියළු ලෝක සත්වයෝ තූ තූ කරමින් මහා හයියෙන් හඬ නගා ගලා යන්නට පටන් ගනිති යි බියෙන් හැඬීම නවතා දැමුවේ යැ.
ඉඳින් හැඬීම නැවතූ මා ඉහත කී පාපිෂ්ඨ අදහස කොහේදැ යි බලන්නේ ඒ අධමයා පංචකල්‍යාණයෙන් විභූෂිත, අයස්කාන්ත, මනරමණීය ඒ මහා ජලාශයේ වැටී කරවටක් මඩෙහි එරී ගොඩ ඒමට දඟලමින් උදව් ඉල්ලා කෑගසමින් සිටිනු දැක, උන් සමීපයට ගොස් උන් බණවාලා, තොපට උදව් උවමනා දැයි විචාරා, උන් තොපේ උදව්වලින් කම් නැත. වහා ම කථාවක් කියව‘යි කී කල්හි, කරවටක් ගිලී සිටි මේ අධමයා සූප කොට බොමි‘යි දරුණු සිතිවිල්ලක් ආමුත් එය යුගාන්ත වාතයෙන් ඇද වැටෙන්නා වූ මහාමේරු පර්වතය මකුළු හුයකින් අල්වා ගන්නා සේ වලකාගන, ඉතා ඉවසිලිවන්තව නැවත ‘මෙතන කථා කියන්නේ කාගේ සවනට දැ?‘යි විචාරන්නේ, ‘කාටවත් බැරි නම් හිස් අඹරට කියව‘යි කී කල්හි, මාගේ ඉවසීමේ සීමා රතු කට්ට පැන්නේ, වහා මුගුරක් ගෙන ඌගේ හිසට ගසා පුළුන් පිඬක් කළුගලකින් තලන්නා සේ සුන් දූලි කොට දැමුවේ යැ.
ඉඳින් මාගේ ක්‍රියාව බලා සිටි කරුංකාවක් තරම් අති විශාල වූ ගිජුළිහිණියෙකු මට කියන්නේ, ‘තා කළ ඒ ක්‍රෑර ක්‍රියාව මා මහතැන්වලට වාර්තා කොට තා එකුන්විසි මසකට සිපිරි ගෙයි ලග්ගවමි‘ යනුවෙනුයි. මේ ඇසූ මාහට අබ්බානෙට තද වී, කෙසේ හෝ මූ ළුහු බැඳ අල්වා මොහුගේ හිස, හොට , දෙපා යන තෙවැදෑරුම් මාංශයෝ මාගේ දිවා ආහාර අනුභවයට ද, ඉතිරි කොටස් උදෑසන සූපයට ද ගනිමි‘යි හිත දැඩි කොට ඌ අල්වා ගන්නට පනින්නේ ඇසිපිය ගසන නිමේෂයෙන් ඌ තුමූ මාගෙන් ගැලවී මගේ හිසට දැ වර්චැස් පිඬක් හෙළා, හුයෙන් මිඳුණු සරුංගලයක් සේ ඈතට පියඹෑ ගියේ යැ.
ඉඳින් ඒ පවිටු ගිජුළිහිණියා මා ගැන මහතැන්වලට වාර්තා කොට මහතැන් එම කාරණා විභාග කරනු වස් එතැනට පැමිණෙන්නේ මා අත වූ මුගුර දැක භියෙන් ත්‍රස්ථව ක්ලාන්ත සෑදී, මහී කත සිපගනිමින් පොළොවට ඇද වැටී, බඩ ගෑගනම කැළයට වැදහොත්තේ යැ. එකෙකු පමණක් චණ්ඩ මාරුතයට නොසෙල්වෙන ඉන්ද්‍රඛීලයක් සේ වැනි වැනී සිටගෙන ම සිටියෝ යැ. මූ නම් මුගුරට බිය නැතැයි සිතූ මා මුගුර උළුක් කර ඌ ළඟට කිට්ටු කර බලන්නේ දුටු දෙයින් මාගේ නේත්‍ර යුග්මය අදහා ගත නොහී මම මාගේ ප්‍රණයට ද ඇති ආශාව අතහැර දමා පණකඩාගෙන දෙපයට පින් දිදී දුවන්නේ ඇසිල්ලෙන් මාගේ වාසභවනට පිවිස සියළු දොරගුළු වසා සිදු වූ දේ ආවර්ජනය කරන්නට වීමැ. මාගේ චිත්ත සන්තානයේ හොල්මන් කරන්නේ හිටගෙන සිටි නරයාණෝ යැ. ඒ කිම් ද යත්, මාගේ මුගුරට ඇති භීතිය නිසා ඌ තුමූ මියගොස් සිටියේ යැ.

94-10-25

Thursday, May 26, 2011

07.) අලි, කොටි සහ සිකුරු තරුව

(නිසි කළ බිහිවීමට අවසර නුදුන් නිසා කුස තුළ ම මිය ගිය ‘සිකුරු තරුව‘ නම් මාගේ කුළුඳුල් සහ අවසන් කෙටි කථා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී)

එය ද එක්තරා උදෑසනක් විය. උදෑසනක් කීවාට ටිකක් දහවලට බර ය. ඒ කියන්නේ මධ්‍යහන එකොළහයි හතයි තප්පර තුනට වගේ ය. අද මුළු දවස ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා ඇත. මේ නිසා නිකං ඉන්න කම්මැලි හිතුණු මං තුවක්කු බටේකුත් කරේ තියාගන කැලේට වැදුනා, සිකුරු තරුව හොයන්න. සිකුරු තරුව කියන්නෙ ග්‍රහලෝකයක්. තරුවක් නෙමෙයි. ඒක ඉර එළිය වැටිල දිලිසිලා තරුවක් වගේ පේන හින්ද තමයි සිකුරු තරුව කියල කියන්නෙ. හරි නං සිකුරු ග්‍රහලෝකෙ. මේ ළඟදි සිකුරු තරුව මං ගාව තිබිල නැති උණා. ගත්තු කෙනෙකුත් නෑ, නොගත්ත කෙනෙකුත් නෑ, දන්න කෙනෙකුත් නෑ නොදන්න කෙනෙකුත් නෑ, ගිය තැනකත් නෑ, නොගිය තැනකත් නෑ, නැති සේරම තැන්වල නෑ. තව බලන්න තියෙන්නෙ මේ කැලේ විතරයි. ග්‍රහලෝකයක් කොහොම ද මං ළඟ තියෙන්නෙ කියල කාට හරි හිතුනොත් ඒක වැරදියි. ඒ ග්‍රහලෝකෙ මං අල්ලගත්තෙ බොහොම අමාරුවෙන්. ඒක මහ දිග ම දිග කතාවක්. ඒවයින් වැඩක් නෑ.
ඕං මං තුවක්කුවත් අරගන කැලේට ගියා. ටිකක් දුර ඔහොම ඇවිදගන ඇවිදගන යනකොට මගෙ ඉස්සරහට හම්බවුනේ කොටියෙක්. කොටියෙකුත් නෙමේ බලපුහම. කොටි සද්දන්ත දැවැන්ත රාජයෙක්. ඌව දැක්ක හැටියෙ මට සිහි නැති වෙන්න ගියා. ඒත් තුවක්කුව අතේ හින්ද එහෙම උන් නෑ. මම තුවක්කුව කොටියට එල්ල කළා විතරයි කොටිය මැරිල වැටුණ. මට හරි මැජික්. මේකෙ මොකක් හරි හොරයක් ඇති කියල හිතං මං කොටිය ළඟට කිට්ටු වෙලා බැලුව මැරිල ද නැද්ද කින්ද මන්ද කියල. බැලින්නම් මැරිල ද කිංද මංද සේරම අවලංගු වෙලා. මේක මැරිල නෑ. මට ප්‍රෝඩාව කරල තියෙන්නේ. මේක ආරංචි උනු මට අම්බානට කියන්නෙ අං බානට ම නැට්ටෙනුත් නැට්ටට ම නැග්ගා. මීටරේ රතු කට්ටත් පැන්න ද කොහෙ ද? ඒත් මං මොනව කරන්න ද? ඌ තාමත් මැරිල වගේ. හිතේ ඇති මම රැවටිලා කියල. ඌ හුස්ම ගන්නව මං ඇස් දෙකට දැක්ක. දැනුත් ඕන්නං දැක ගත හැකි. මට හොඳ අයිඩියා එකක් ආවා. ඒ තමා මූව උස්සන් ගිහිං ගඟට දාන එක.  ඒත් ඒක කරන්න හම්බවුනේ නෑ. ඒක යකා වගේ, නෑ කොටිය වගේ, කෑ ගහගන ගොරෝගන පැන්න මගෙ ඇඟට. මම බල්ටියක් දාලා ඒ පාරින් බේරුණා. කොටිය පැන්න පාර පොළව කාගන අඩියක් විතර පහළට එරුණ. ඒ ඉරි තැලිල තිබ්බ කට්ට පොළවෙ ඌ එච්චර යටට බහින්න ඌ කොච්චර වේගයෙන් පනින්න ඇද්ද... අම්මෝ... ඒ ගැන මතක් වෙලා මට කලන්තෙ හැදුණා. ඊට පස්සෙ මං ටිකක් වෙලා මගෙ බල්ටියට පිං දිදී නිදා ගත්තා. ඇහැරිලා බලන කොට කොටි හපුව නෑ. මං නිදි අවස්ථාවෙන් ප්‍රයෝජං ගත්තු ඌ පැනල ගිහිං. මං ඌව අල්ලන්න ගියෙ නෑ. වැඩක් නෑනේ. මං ආවෙ සිකුරු තරුව හොයාගන.
මම තව ඉදිරියට ගියා. අලි මදිවට කොටි කියල, නෙමේ, කොටි මදිවට අලි කියල, මහ විශාල වල් අලියෙක් මට මුලිච්චි වෙච්චි. හැබැයි ඌ එක්ක කොටි හපුව එක්ක ගියා වගේ අංකර අල්ලන්න ගියෙ නෑ. මං අල්ලට මතුරන අතරෙ මං එසේ මෙසේ පුත්‍රයෙක් නොවන බව දැන ගත්තු අලිය මඟ ඇරිය. යන්න යන්න ගමන බාදයි. මං එන්න හැරුණ. එනකොට මං දැක්ක වතුර වලක මගෙ සිකුරු තරුව දිලිහි දිලිහි තිබුණ. මට එකපාරට ම මහෞෂධ පඬිතුමාගෙ නුවණ පහළ වුණා. මං වතුර මුට්ටියක් අරං බැලුවා. ඒකෙත් සිකුරු තරුව තිබුණා. මට මගෙ මොලේ ගැන පැලෙන්න තරං සතුටුයි. මං මගෙ මොලේට පොඩි සංග්‍රහයකුත් කරලා අසල ඇති කාක් කූඩු හොයන්න පටන් ගත්තා. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට මැණික හම්බ වුණේ කාක් කූඩුවකදි හින්ද මාත් හිතුවෙ මගෙ තරුවත් කාක් කූඩුවක ඇති කියල. මම කැලේ දෙවනත් කරගන කාක් කූඩු කුඩුපට්ටම් කර කර සිකුරු තරුව හෙව්ව. මගේ ක්‍රියාවට අනවශ්‍ය විදිහට ඔරොප්පු උණු කාක්කො වට කරගන මට කොටපි. මම දන්න සෙල්ලං, බල්ටි පිණුම් දදා බැලුවත් බේරෙන්න බෑ. මම දුවල දුවල ගෙට රිංගුව. මට දෙයියො මතක් වෙලා උඩ බැලුණ. සිකුරු තරුව ලස්සනට පායල හිනාවෙවී මං දිහා බලන් ඉන්නව මම දැක්ක.

94-10-24

Sunday, May 22, 2011

06.) සිරකරුවා සහ සිහිනය


(නිසි කළ බිහිවීමට අවසර නුදුන් නිසා කුස තුළ ම මිය ගිය ‘සිකුරු තරුව‘ නම් මාගේ කුළුඳුල් සහ අවසන් කෙටි කථා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී)


මගෙ නම දොන් ජුවන් පීටර් අප්පුහාමි, මම ඉපදුනේ වර්‍ෂ 1863 මැයි 12 වෙනිදා, මගේ ලිපිනය..., කියමින් ඔහු තමන් ගැන විස්තර කිරීමට පටන් ගත්තේ ය. මම එය ඕනෑවට එපාවට මෙන් සවන් දීගෙන සිටිමි. මට නිදිමත ගතියක් ද දැනුණි. එය කොතරම් දැයි කිවහොත් මට විශාල ඈනුමක් ගියේ ය. මගේ කට ඉරෙයි කියල හිතපු සිරකරුවා පැන්න ගමන් මගෙ කට අල්ලා තද කෙරුවේ ය. මට අම්බානට තද වුණි. මම ඔහුගේ ලිපිනය ඉල්ලා ගත්තේ, එමඟින් මගේ කට මිරිකුවාට ඔහුට බැණ ලිපියක් යැවීමට ය. මොහු සිරකරුවෙකි. අල්ලා ගත්තේ වතුරේ දී ය. මොහු අල්ලා ගන්නා විට හොඳට ම හෙම්බත් වී බල්ලෙක් මෙන් හති හලමින් සිටියේ ය. මම ඔහුව කරෙන් අල්ලාගන ඇදගන ආවෙමි. මොහු කළ වරද නම් මට බූරුවා‘යි කියමින් පැණ දිවීම ය. පෞද්ගලික රහස් එළි කිරීමේ වරදට මොහුට දැන් විනාඩි දොළහක බරපතළ වැඩ සහිත හිර දඬුවමක් දී ඇත. මොහු දැන් හිරෙන් පැන මා ළඟට ඇවිත් ඉන්නේ තමන් කවුදැයි කියා දීමට ය. ඔහු අත දිගු උල් පිහියක් ද තිබුණි. ඔහු එන් දුටු මට සිහි නැති විය. ඔහු ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලා මහත්තයා නිදිදැයි කියමින් හැකර කට ඇර කෑ ගැසුවේ ය. මට සිහිය ආවේ ය. ඔහු පිහිය ද දිගු කරගන තමා පිළිබඳ විස්තර පවසන්නට විය. තමා ඩී ජී පී ඒ හාමි බවත්,ඉපදුනේ 1963 කවද ද මන්ද බවත් මොහු කියාගන ගියේ ය. මට ඈණුමක් ගියේ එවිට ය. මට මොහුගේ පිහිය දිහා බැලුණි.එය දිළිසෙමින්, සිනාසෙමින් මා දෙස ට දික් වී තිබේ. දැන් නම් ගැලවීමක් නැතැ‘යි මට සිතුණි.
මට එකවරම මම මාසයක් පමණ ගොස් නාස් පොල්ල කැඩී අතරමග නවතා දැමූ කරාටේ පන්තිය සිහි විය. එහි දී මා මාසය තුළ උගත් දැනුමෙන් මොහුව දමනය කිරීමට මට සිතුණි. මම වේගයෙන් පුටුව උස්සා නැගිට ඔහුට පුටුවෙන් දමා ගැසීමි. එතැන තිබූ මේස පුටු ඇඳන් කොට්ට මෙට්ට සේරම පෙරළාගන ඔහු බිම වැටුනේ ය. පිහිය ඔහු අතින් ගිලිහී තිබුණත් ඔහු ක්ෂණයෙන් ඒ දෙසට ඇදෙනු මම දුටිමි. වහා ක්‍රියාත්මක වූ මාගේ දකුණු පාදය නැවතුණේ පිහියේ මිටේ ය. පිහිය නැවතුණේ ගහක ඇනීමෙනි. ගහ කොහේවත් නැවතුණේ නැත. නවතින්න කොහේවත් ගියේත් නැත. ගස තිබුණු තැන ම තිබූ බව මම පසුව දැන ගතිමි. ඔහු දෑස කරකවා වියරුවෙන් මෙන් මා දෙස බැලුවේ ය. මට කරාටේ අමතක වී මා පාසලේ දී මීටර් 100 දිවූ හැටි මතක් විය. එහෙත් මගේ හිත කීවේ ‘බය වෙන්න එපා, සටන් කරමු‘ කියා යි. මොන සටන් ද? මගේ කකුලුත් පණ නැත. හදිස්සියේ ම මගේ ගණ දෙවි නුවණට පහළ වුනේ අපූර්ව අදහසකි. එනම් මේ හොරාව අල්ලා ගස් බැඳ ඇති තරම් ගැසීම යි. එහෙත් මොහුව අල්ලා ගස් බඳින්නේ කවු ද? එය බලළාගේ කරේ මිණි ගෙඩිය එල්ලීම වාගේ වැඩකි. මොහු මා මෙන් පසු ගුණයක් පමණ විශාල හැඩිදැඩි තක්කඩියෙකි.
මොහු වහා නැගිට මාගේ බෙල්ලෙන් අල්ලා සෙලවීය. මම තප්පරයට පනස් වාරයක් පමණ වේගයෙන් කම්පනය වීමට පටන් ගතිමි. ඔහු මාගේ බෙල්ලෙන් ඇල්ලූ පාර මට දෙලෝ රත් විය. වහා ක්‍රියාකාරී වූ මා ඔහුගේ මූණ හරහා වේගයෙන් මුෂ්ටි පහරක් එල්ල කළෙමි. ඒ සද්දන්තයාගේ ඔළුවෙන් තරු විසි වෙනු මා දුටිමි‍. මම ක්ෂණයෙන් මා වඩාත් ම ප්‍රිය කරන සිකුරු තරුව විසිවෙනවාදැයි බැලූ නමුත් ක්ෂණයෙන් ඒ තරු ඇති වී නැති වී ගියේ ය. ඊළඟට ආවේ සද්දන්තයාගේ ටර්න් එකයි. ඔහු හොඳට ව්‍යායාම කර ඇඟ මසාජ් කර ගනිමින් මා හට එල්ල කරන්නට දැවැන්ත පහරක් සූදානම් කරමින් සිටියේ ය. මට අම්බානට තද වුණි. මා බෙල්ලෙන් අල්ලා ආ මේ දැවැන්ත සිරකරුවා මට පල් පාට් දාන්න එන බව දැනුණු මගේ ඇඟ නලියන්නට විය. කෝපයෙන් මත් වූ මම දත් මිටි කමින් ඔහු දෙස බැලුවෙමි. ඔහු දැවී පිච්චී අලු වී ගියේ ය. මගේ කාමරයත් පිච්චේදැයි බයෙන් මා මගේ කෝපය නිවා ගත් නමුත් මා ප්‍රමාද වැඩි ය. මගේ පොත්පත් ලිපිලේඛනවලට ද, මට ද, මගේ ඇදුම්වලට ද ගිනි ඇවිලී තිබුණි. මම බයේ කෑගැසුවෙමි.
ඒ එක්කම මගේ පිටට වැදුණු පහරකින් මා අවදි විය. මොකද බණ්ඩො කෑ ගහන්නෙ කියමින් මා මිත්‍ර පණ්ඩා එතැනට පැමිණියේ ය. මා මෙතෙක් වෙලා දුටුවේ හීනයක් බව දැනුණු මට පොළව පළාගන යන්නට හිතුණි. මා ලජ්ජාවෙන් මිරිකෙමින් වටපිට බැලුවෙමි. සිරකරු විනාඩි දොළහක් වූ දඬුවම් කාලය අවසන් කොට පැදුරත් අකුළා කොට්ටයත් කිහිල්ලේ ගසාගන යන්නට සූදානම් වෙමින් සිටියේ ය. ඔහුව සිර කළේ බරපතල වැඩ සහිතව මුත් ඔහු එම විනාඩි දොළහ සැපට නිදියාගන සිට ඇත. එහෙත් මා සිහිනෙන් දුටු පරිදි සියල්ල සිදු වීමට පෙර ඔයාකාරයට ඔහුට යන්නට දීමට මා සිතුවෙමි. ඔහු මා ළඟට අවුත් දිව දික්කර තමා යන බව පැවසීය. “ආයෙ කාගෙවත් පෞද්ගලික රහස් හෙළි කරන්න යන්න එපා“, මම අවසන් වරට ඔහුට අවවාද කළෙමි. ඔහු මගේ කණට ද දෙකක් දී බොහොම ශාන්තව මගේ කාමරයෙන් පිට වී ගියේ ය. ඔහු දුන් පාරට මගේ කණින් විසි වූ තරු අතර සිටි සිකුරු තරුව මම සොයා ගතිමි.

94-10-22

Saturday, May 21, 2011

05.) කථා අයිඩියාව


වෙලාව මහ රෑ හයයි විසි හතරයි තප්පර හතළිස් පහයි දශම දෙකයි හතයි තුනට විතර ඇති. තාම දවල්ට කෑවෙත් නෑ. රේඩියෝ එක මගෙ කණ ගාව ඉදන් කෑ ගහනව. මොනව ද මන්ද විකාර සිංදු යනව. මං බැලුව මිදුල දිහා. වහිනව... අකුණු ගහනව... ගං වතුර ගලනව... එක විකාරයයි. මම තේ බොන්න බැලුව. බැලින්නම් අක්කල තේ වක්කරල බීල, තිබ්බ ටික නිබිල, බීපුව දිරෝල, පැය ගානක් ගිහින්. මට අම්බානෙක තද උනා. ඉස්කෝලෙ වැඩ තියනව අහස උසටත් වැඩිය. මං ඉදන් විකාර ලියනව. විකාරයක් නෙමේ බලපුවහම. මං මේ කථාවක් ලියන්නයි හදන්නෙ.  ඒත් කෝ... හොඳ අයිඩියා එකක් එන්නෙ නැහැනෙ. ඔක්කොම පරණ කියෝපු කථාවල අන්තර්ගත ස්ටෝරිය.  මගේ ම නිර්මාණයක් කරන්න මං ගත්තු උත්සාහ සියල්ල ම ව්‍යර්ථ වෙලා ගියා මොනවට ද මොකද්ද දැම්ම වගේ. ඒ හින්ද මං කථා ලිවීම අත ඇරල දාල යාළුවෙකුට ලියුමක් ලියන්න පටන් ගත්ත. බෑ... හරියන්නෑ වැඩේ. නෝ අයිඩියාස්!  ඒකත් අල්ලලා දැම්ම. දැන් මොකද කරන්නෙ. මුකුත් කරන්න එපා, ඉස්කෝලෙ වැඩ කරනව කියල හිත කිව්ව. මං හිතට බැනල එලෝගත්ත. හිත එනව මට උපදෙස් දෙන්න.
මල්ලි කෙටි කථා පොතක් බලනව. ඒකෙ කථාවක් හොරකං කරගන මං ලිව්ව වගේ පත්තරේට දාන්න මට හිතුණ. ඒත් බොරුවෙන්, ප්‍රෝඩාවෙන්, මගෝඩියෙන්, ජඩයෙන් කථා ලියල ඇති පලේ ගැන හිතල අල්ල දැම්ම ඔක්කොම. ඒ අල්ල දාපු පාර මගෙ පෑනත් විසි වෙලා ගියා. මම ආපහු මගෙ අල්ල දැමීමට ම බැණ බැණ කුණු ගොඩ ගාවට ගිහින් බොරුවට, ප්‍රෝඩාවට, මගෝඩියට, ජඩයට යට වෙලා දිරලා කුණුවෙලා ගිහිං තිබ්බ පෑන අහුලං ආවා. ඒක හෝදන්න ම අවුරුදු දහයක් විතර ගියා. දැන් ඉතිං කථා ලියන්න බෑ... පෑන හෝදන්න ම අවුරුදු දහයක් ගිය හින්ද මට බය හිතුණ. බැරි වෙලාවත් පොතක් හොයන්න, කථාවක් හදන්න වගේ වැඩවලටත් එච්චර කල් ගියොත්... අම්මෝ මට හීං දාඩිය දාල, සිහි නැතිවෙලා ගිහිං ජබර කලන්නෙත් හැදුණ. ඒක හින්ද ආයෙ ජීවිතේට ම කථා නොලියමි‘යි තදින් හිතා ගත්ත. කොච්චර තද ද කිව්වොත්, හිත තදවෙලා චප්පවෙලා ගියා. හිත යථා තත්වයට පත් වුනේ මං ගිහිං මගෙ තදේට කෝට්ටකින් හොඳ දෙකක් දුන්නට පස්සෙයි. මං දෙකක් දුන්න කියල තදේට තදවෙලා යන්න ගියා. අනේ එතකොට මගෙ කථා ලිවීමේ අදහස ලත් බුරුලින් දනි පනි ගාල එළියට පැන ගත්ත.  ඕං ඉතිං දැන් ඒ කෙහෙම්මල් අයිඩියා එක ආයෙ හොල්මන් කරන්න පටන් ගත්ත. මට නැග්ග අසූ හාරදාහට. තවත් ඉහළට නැග්ගොත් බැහැගන්න බැරිවෙයි කියල ඊට වැඩිය නගින්න මං මට ඉඩ දුන්නෙ නෑ.
ඉතිං මං අර පිස්සු අයිඩියා එක අල්ලල, නූලකින් බැඳල, ගඟට තල්ලු කරා. ජබෝං ගාල මුළු ගඟ ම කළඹල, වතුර දෙපැත්තට විසි කරගෙන අයිඩියා එක ගඟට වැටුණා. ගඟෙන් වතුර ගොඩ දාපු පාර අපේ ගේ ළඟට ම ආවා. ගේ යටවෙයි කියල බයේ මම දඩිබිඩි ගාල දුවගෙන ඇවිල්ල වතුර ටික අල්ලල මුහුදට දැම්ම. ඒ අස්සෙ මුහුද කියපි ලුණු නැති වතුර බාර ගන්න බෑ කියල. ඒ ගමන මම ලුණු පොල් කට්ටක් අරගෙන වතුරට ලුණු පෙව්ව. වතුරට වමනෙ ගියා. හරි යන්නෑ වැඩේ. මං කරපු වැඩේ වතුර ටික අල්ලල හොඳට ලණුවලින් බැඳල, හෙල්ලෙන්නවත් බැරි වෙන්න ගහක බැන්ද.  ඊට පස්සෙ කෝට්ටක් අරගන, ආයෙ ගේ යට කරන්න එනව ද කියල අහ අහා තැලුව. වතුර බයවෙච්ච පාර ආතබූත කඩාගන, කැලේ දෙවනත් කරගන, වල් බූටෑ බිඳගන දිව්ව. මං එලෝ එලෝ ගැහුව. වතුරට හොඳ මොළයක් ඇවිල්ල, එකපාරට ම හැරිල මාව බෙල්ලෙන් ම අල්ලං කිහිල්ලෙ ගහගන කුදලාගන ගෙනිච්ච. මට බය හිතුණ. මේ බූතය මට මොනව කරයි ද කියල. මං දුන්න වතුරට කණ පැලෙන්න. වතුර කණත් අල්ලං කොර ගහ ගහ ගියා. මං දමල ගහල ආව එන්න.
මොන ඉලව් හරි වෙලා පොත ලිවීමේ අදහසින් ගැලවුනානෙ කියල හිතල මම සතුටෙ උඩ පැන්න. පැන්න පාර ඔළුව වහලෙ හැප්පිලා වහලෙ ගැලවිලා වීසි උණා. මම කැලේ පීරල පීරල වහලෙත් හොයාගන එනකොට, වතුරය තව හෙණ සේනාවකුත් එක්ක මඟ රැකගන ඉන්නව මගෙන් හේදම ගන්න. වතුරගෙ කණ පැලිල ලේත් එනව. වතුර මං දිහා ඔරෝල බැලුව. මං කරපු වැඩේ මගෙ අතේ තිබ්බ වහලෙ අරං වතුර එක්ක සටනට ඇරිය. වහලෙයි වතුරයි හබරල ගාල් පොඩි කරගන යුද්දෙ. හරියන්නෑ... වහටල පසුබසින පාටයි. මක් කරන්න ද? මං පරාදෙ පිළි අරගන වතුර රජාගෙන් සමාව ඉල්ලං වහලෙත් කර තියාගන එන්න ආව. ආව විතරයි වහලය වහලෙට පැන ගත්ත. මට පනින්න තැනක් නෑ... මම පුටුවට පැන්න.  දැං මං පුටුවේ. මං වෙලාව බැලුවා... මට කලන්තෙ දැම්ම. වෙලාව මධ්‍යම රාත්‍රී හතයි විනාඩි පහයි.

94-10-08

Friday, May 20, 2011

04.) පෑන් දෙකක් කළ හදියක්

-ටයිප් කර පළ කළ නොහැක-

94-10-08

03.) වලිගය, කණ හා ජුවල්

එකෝමත් එක රටක ඝන වූ කැලෑවක සිංහයෙක් සිටියේ ය. ඌ සිංහයෙක් නොවේ. සිංහ රාජයෙකි. ඒ කැලයේ ම තවත් රාජයෙක් සිටියේ ය. ඌ සිංහ රාජයෙක් නොවේ. ඌ නාග රජයෙකි. දිනක් රාජයෝ දෙදෙන එකට පටු පාලමක දී හමු විය. මම නාගයෙක් මි. නාග රාජයා කීය. මම සිංහයෙක් මි. සිංහ රාජයා ද කීය. මම නාග රාජයෙක් මි. නාගයා කීය. මම සිංහ රාජයෙක් මි. සිංහයා ද කීය. මෙය අසා සිටි නරියෙක් මම නරි බහුට්ටෙක් මි‘යි කීය. මෙය ඇසූ සිංහයාට ජුවල් ගියේ ය. නයාට ජුවල් ආවේ ය. සිංහයාට ගිය ජුවල් නයාට ආවායි නරියා කීය. මේ කතාවට නයාට ජුවල් ගියේ ය. සිංහයාට ජුවල් ආවේ ය. ජුවලට ජුවල කැපී සියල්ල සන්සුන් විය. නරියාට හිනා ගියේ ය. සිංහයා පැන්න ගමන් නරි කණෙන් කෑල්ලක් කෑවේ ය. නරියා පැන්න ගමන් සිංහයාගේ වලිගය හැපුවේ ය. නයාට හිනා ආවේ ය. නරියාට ගිය හිනාව නයාට ආවේ ය යි සිතූ නයා නරියාගේ නැට්ටෙන් අඟල් කාලක් කා දැම්මේ ය. නරියා සිංහයාගෙන් කඩා ගත් වලිගයෙන් කෑල්ලක් ඔහුගේ නැට්ටට හයි කර ගත්තේ ය. සිංහයා නරියාගේ කණේ කෑල්ල පූට්ටු කර තම වලිගය ද සම්පූර්ණ කර ගත්තේ ය. දැන් නයාට වලිග කෑල්ලක් වැඩි ය. නරියාට කණක් නැත. නරියා නයි වලිගයෙන් කෑල්ලක් කණට තබා මසා ගත්තේ ය. නරි වලිගය තම වලිගයට අල්ලාගත් නයා එතැනින් මාරු විය. සිංහයා උඩ බැලීය. නරියා බිම බැලීය. සියල්ල සංසුන් ය. සියල්ලෝ සතුටින් විසිර ගියහ.

94-07-28

Thursday, May 19, 2011

02.) පිස්සා සහ මම

...මම වීදියක් දිගේ ඇවිද ගියෙමි. මට ඉදිරියෙන් යන්නේ පිස්සෙකි. හද්ද පිස්සෙකි. ඔහු විටක සිනාසෙයි. විටෙක අඬයි. උඩ පනියි. බිම පනියි. හිඳ ගනියි. නැගිටියි. ඉස්සරහට යයි. පස්සට යයි. මට බකස් ගා හිනා ගියේ ය. ඔහු මා දිහා බැලුවේ ය. ඔහු මට බැන්නේ ය. බැන ගෙන බැන ගෙන ගියේ ය. මට තවත් හිනා ගියේ ය. මට ඔහු හා කතා කිරීමට සිතුණි. ඔහු මා ලං වන විට දිව්වේ ය. මම ඔහු පසුපස එළවා ගියෙමි. ඔහු දුවගෙන දුවගෙන දුවගෙන ගියේ ය. මම එළවාගෙන එළවාගෙන එළවාගෙන ගියෙමි. පාසැලේ මීටර් සියය දුවා පුරුදු මට කිලෝ මීටරයකට විතර පසු ඔහු හා කිට්ටු වීමට හැකි විය.
මම පැන්න ගමන් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගතිමි. ඔහු මට දඩාස් ගා හොම්බට ඇන්නේ ය. ඇනගෙන ඇනගෙන ගියේ ය. මගේ කටින් ලේ ආවෙමි. මට ජුවල් ගියේ ය. මම ඔහුට හොම්බට හැට හතරක් ඇනගෙන ඇනගෙන ගියේ ය. ඒත් ඔහු හිනා වෙයි. අඬයි. උඩ පනියි. මගේ ක්‍රියාව දුටු මිනිසෙක් මාව පොලීසියට අල්ලා දුන්නේ ය. පොලීසිය මාව හිර කළේ ය. මට දුක හිතුණි. මට නින්ද ගියේ ය. කූඩුවේ දොර ඇරීමෙනි අවදි වුණු මා දුටුවේ පොලිස් බටයන් දෙදෙනෙකු මැද සිටින පිස්සා ය. ඔහු මියගොස් සිටියේ ය. මම ද මිය ගියෙමි. පසුව අප දෙදෙනාවම එක ළඟ වළලන්නට ඇති.
නැවත මට හිනා ගියේ ය. ඒ පිස්සා මතක් වෙලා ය.

94-07-28

Wednesday, May 18, 2011

01.) අප්පමාදෝ අමත පදං...

ඔහු ඇවිද ගියේ ය. දිගටම ගියේ ය. තවත් ගියේ ය. අවසානයේ මහ වනයකට වැද හොත්තේ ය. එහිදී ඔහුට මද බියක් දැනුණි. ඔහු ආපසු ඒමට හැරුණි..., ඒහෙත් ඒ සමඟ ම ඇසුණු බියකරු හඬින් ඔහු බිරාන්තට්ටු විය. ගත සිත දහඩියෙන් නෑවුණි. නලළින් පටන්ගත් දාඩිය බිඳු දෙපයේ මාපට ඇඟිල්ලෙන් පොළව හා එක් විණි. ඔහු උඩ බැලීය. බිම බැලීය. ඒ පැත්ත බැලීය. මේ පැත්ත බැලීය.කිසි අමුත්තක් නැත. නැවතත් පෙර හඬ ම ඇසුණි. ඔහුට සිහි නැති විය. දඩාස් ගා ඔහු බිම ඇද වැටුණි. ඒ සමඟ ම එතනට ආ දැවැන්ත වල් අලියෙකි. එහෙත් අලියා පමා වැඩිය..., ඔහු මිය ගොස් සිටියේ ය...

94-07-28

පෙරවදන...

නිකං ඉන්න බැරුවට බ්ලොග් එකක් පටන් ගත්තට මොකද, අවුරුදු තුනක් විතර ගියා මුකුත් ම නැතුව!
ඒකෙන් මොකද්ද කියවෙන්නේ...
ඒකෙන් කියවෙන්නෙ මට නිකං ඉන්න පුළුවන් කියන එක...
ඇත්ත තමා, මම හිතං හිටියට මට නිකං ඉන්න බැහැ කියල, මට දැන් හොඳට නිකං ඉන්න පුළුවන්...
ඒත් මට එහෙම මං ගැන වැරදියට හිතිල තියෙන්නෙ වැරදිලා කියල ඔයාට හිතෙනව ද?
වැරදියි! ඔයාට එහෙම හිතෙනවනම් මට එහෙම මං ගැන වැරදියට හිතිල තියෙන්නෙ වැරදිලා කියල, ඔයා වැරදියි!
මොකද මට දැන් අපූරුවට නිකං ඉන්න පුළුවන් උනාට ඉස්සර මට එක තප්පරයක්වත් නිකං ඉන්න පුළුවන් වෙලා නෑ...
ඇයි මම එච්චර විශ්වාසෙන් එහෙම කියන්නෙ. එහෙම කියන්නෙ මං ගාව ඒකට සාක්ෂි තියන හින්ද...
ඔව්, මට ඉස්සර හොඳටම පිස්සු කියල ඔප්පු කරන්න මං ගාව සාක්ෂි තියනවා.
ඒක මට හම්බ උනේ අද. මගේ පරණ පොත් ගොඩක් අස්සෙ තිබිල. මීට අවුරුදු දාසයකට කලින් මම නිකං ඉන්න බැරුවට ලියපු පොතක්!
ඒකෙ තියෙන්නෙ තනිකරම විකාර! ඒව මම කවදාවත් ම, කාටවත් ම බලන්න ලියපුව නෙමේ.
කොටින් ම කියනවනං ඒ පොතේ පිටකවරෙ තඩි අකුරින් මම ලියල තියනවා “අත තැබීම තහනම්“ කියලා. ඒ විතරක් නෙමේ, පොතකට අත තියන පින්තූරයක් ඇඳලා ඒක කතිරෙකින් කපලා... හරියට අර බස්වල සිගරැට් එක ඇඳල කපල තියනව වගේ...
ඒ පොත එච්චරට ම ප්‍රයිවට්!
ඉතිං...
ඉතිං දැන් මොකද්ද අපිට කරන්න කියන්නෙ කියල ඔයාට හිතුන ද?
බය වෙන්න එපා, මම ඔයාට මුකූත් කරන්න කියන්නෙ නෑ... ඔයාට තියෙන්නෙ කම්මැලි නම් මැෂින් එක වහල නිදා ගන්න එක...
ඒත් මම දැන්ම නිදියන්නෙ නෑ...
ඒ මොකද, මට තාම නිදිමත නෑ...
මගෙ ඔළුවට මහ දරුණු අදහසක් ඇවිත් තියෙන්නේ...
ඔයා බයවෙන්න එපා... ඔයාට මුකුත් කරන්න නෙමෙයි...
මම මීට අවුරුදු දාසයකට කලින් කාටවත් බලන්න දෙන්නෙ නෑ කියල පරසක්වල ගහල දිව්රල ලියපු විකාර ටික ‘ඕන එකෙක් ඉන්නවනං බලා ගනින්‘ කියල, මේ බ්ලොග් එකේ දාන්න මට හිතිල තියෙන්නේ...
ඇයි ඒ... මම මගෙ අතීතයත් එක්ක තරහ හින්ද ද?... නෑ, කොහෙත් ම නෑ...
මට ඉස්සර හොඳටම පිස්සු කියල ලෝකෙට ම කියන්න ද?... නෑ, ඒත් නෑ...
මට දැනටත් නිකං ඉන්න බැරි හින්ද ද?... එහෙමත් නෑ...
නෑ... හැමදේට ම හේතුවක් තියෙන්න ඕනෙ නෑනේ...
බෑ බෑ, ඒක හරියන්නෙ නෑ, ඒක මම අදහන ආගමට දහමට විරුද්ධයි. හැම දේටම හේතුවක් තියනවා.
හැබැයි මම ඒක දන්නෙ නැතුව ඇති...
කොහොම උනත්, මම ඒ විකාර පොතේ තියන ඒව එක එක මේකෙ ලියනවා...
ඒව, ඒ විදිහට ම ලියනවා... සංශෝධන, සංස්කරණ නෑ...
කියවන අයෙක් කියවත්වා!
අවසානයේ තමන්ගේ වටිනා කාලය අපතේ යැවීම නිසා මා පිළිබඳ ද්වේශ සිතක් පහල කර ගන තම තමන්ගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා විනාස නොකර ගනිත්වා!

-මං