මගේ දරුවාගේ නම විහාන් ය. පිරිමි දරුවන් දෙදෙනෙකු සහිත පවුලක ඔහු වැඩිමලා ය. කෙසේ වෙතත් ඉපදී වසර හතරක් යනතුරු ඔහු හැදී වැඩුනේ තනිවම ය. එම වයසේ සෙසු දරුවන්ට වඩා ඔහු වෙනස් යැයි මට සිතෙයි. ඔහුගේ එම වෙනස් හැසිරීමට හේතුව අප දෙදෙනාගේ අසීමිත ආදරය බව ඔහුගේ මවගේ අදහසයි. ඔහු දෙමව්පියන් දෙදෙනාට ඉතා දැඩිව බැඳුණු, දෙමවුපියන් දෙදෙනාගේ ම ආදරය, කරුණාව නිතරම නොඅඩුව ලබන දරුවකු සේ සැලකිය හැකි ය. ඔහු ජීවත්වන පරිසරය ඉතාමත් ම සාමකාමී ය. නිවසේ කළහ, විවාද, උස් හඬින් කතා කිරීම් නැත. ඔහුට සැරෙන් කතා කිරීමට කිසිවෙක් නිවසේ නැත. කිසිවෙක් ඔහුට උස් හඬින් කතා කළහොත් ඔහු හෝ ඇය ඉන්පසු සෑමවිටම මඟ හැර සිටීම ඔහුගේ සිරිතයි. දෙමව්පියන් ලෙස අප ඔහුට දඬුවම් කර ඇති වාර ගණන ඉතාමත් ම සීමිත ය. මට හැඟෙන පරිදි ඒවා ඔහු ජීවිතයේ වැඩිපුර ම ශෝක වූ අවස්ථා වෙයි. පොදුවේ ගත් කළ ඔහු "කියන දේ නාහන" දරුවෙකු ලෙස සැලකිය හැකි වුවත් අවශ්‍ය අවස්ථාවල දඬුවම් නොකර ඔහුව පාලනය කර ගත හැකි බව මගේ අදහසයි.
ඔහුට ඔහුගේම ලෝකයක් ඇත. එය සෑමවිටම යම් රාමුවකට අනුගත වී ඇත. සෑමදෙයක් ම එම කලින් හඳුනාගත් රාමුවට අනුව සිදුවිය යුතු බව ඔහුගේ අදහසයි. එය මඳක් හෝ වෙනස් වුවහොත් ඔහු මහත් සේ කිපෙයි. ශෝක වෙයි. කලහකාරී ලෙස හැසිරෙයි. උදාහරණයක් ලෙස ගතහොත්, උදෑසන පෙර පාසල් යෑමට සූදානම් වීමේ දී, කලිසම ඇඳ, පසුව කමිසය ඇඳ ටයි පටිය දමා සපත්තු දැමීම ඔහු හඳුනා සිටින ක්‍රමයයි. යම් හෙයකින් ඔහු නොදැනුවත්වම හෝ පිළිවල වරද්දා සියල්ල ඇන්දවූ බව ඔහුට පසුව හෝ මතක් වුවහොත්, අවස්ථාව, තත්වය කුමක් උවත් ඇඳුම් සියල්ල ගලවා දමා නැවත ඇන්දවන තුරු කළහ කිරීම ඔහුගේ සිරිතයි.
මේ සමාජය තුළ ජීවත්වීමට තරම් ප්‍රමාණවත් බුද්ධියක් ද, ඉතා දැඩි මතක ශක්තියක් ද ඔහුට ඇති බව මගේ අදහසයි. ඕනෑම පුද්ගලයෙකුගේ නමක් එක්වරක් දෙවරක් කියූ පමණින් ඔහුගේ මතකයට යයි. ඔහුට කාලය හා දින පිළිබඳව ද අදහසක් ඇත. එය ද ඔහුගේ පෙර පැවසූ රාමු ගොඩ නඟා ගැනීම සඳහා ඔහු උපයෝගී කර ගනියි. උදාහරණයක් ලෙස සෙනසුරාදා දිනවල පෙර පාසල් යෑම, සිකුරාදා හැර වෙනත් දිනයක වර්ණ ඇඳුමෙන් සැරසී පෙර පාසල් යෑම වැනි දෑ නොවිය යුතු දේ බව ඔහු තරයේ විශ්වාස කරයි.
ඔහුගේ ආහාර පුරුදු ද සම්පූර්ණයෙන් ම වෙනස් ය. ඔහු කිසිසේත් ම පළතුරු ආහාරයට නොගනියි. එළවළුවක් ලෙස ආහාරයට ගන්නේ ද කැරට් පමණි. එය ද එළවළු බත් සමඟ පමණි. ඔහුගේ ප්‍රධාන ආහාර වන්නේ කරවල, බිත්තර හෝ කුකුල් මස් සමඟ බත් ය. මෙම වට්ටෝරුව දිනකට තුන්වරක් කිසිඳු අපහසුවකින් තොරව ප්‍රමාණවත් පරිදි ඔහුට කැවිය හැකිය. ඔහු නිවසේ දී අතින් ආහාර නොගනී. ඔහුට ආහාර කැවිය යුතු ය. එය ද ඒ වෙලාවේ නිවසේ සිටින ඔහු වඩාත් ම කැමති පුද්ගලයා විසින් සිදු කළ යුතු ය. වෙලාවට කෑම නොකැව්වා කියා ද ඔහුට ගානක් නැත. ඒ වයසේ හැටි විය යුතු ය. බත්වලට අමතරව ඔහු ආහාරයට ගන්නේ බිත්තර ආප්ප සහ සීනි සමඟ පාන් පමණි. තමන් අකමැති කෑමක් බලෙන් කැවූහොත් උගුරට ඇඟිල්ල ගසා වමනය කිරීමට ද ඔහුට පුළුවන. පැණිරස කෙරෙහි ද ඔහුගේ කිසිඳු ඇල්මක් නැත. කිසිවිටක කෑමක් දී ඔහුව පුදුම කළ නොහැකිය. පොදුවේ කෑම කෙරෙහි ඔහු තුළ ඇත්තේ ඉතා උදාසීන බවකි. කඩෙන් ගන්නා එළවළු බත්වලට පමණක් ඔහුගේ යම් කැමැත්තක් ඇත. එය දිනපතා සිදුකල නොහැකි බැවින් ඉරිදා රැයට පමණක් එය ලබා දෙන බවට අප ඔහුට පොරොන්දු වී ඇත. එබැවින් සෑම ඉරිදාම රෑට කඩෙන් කෑමට අපට සිදුවී ඇත. මෙම ආහාර රටාව වෙනස් කිරීමට ප්‍රමාණවත් උත්සාහයක් අප දරා ඇති නමුත් ප්‍රතිඵලයක් නැත.
ඔහු කිසිවිටක රූපවාහිනිය නොබලයි. "කාටූන්" යන වචනය ඔහුගේ ශබ්ද කෝෂයේ නැත. රූපවාහිනියේ කුමන ආකාරයක වැඩසටහනක් විකාශය වුවත් ඔහු ඒ සඳහා කිසිඳු අවධානයක් නොදක්වයි. ඔහුට අපගේ අවධානය අවශ්‍ය වූ විටක අප රූපවාහිනිය දෙස බලා සිටියහොත් ඔහු ගොස් රූපවාහිනිය නිවා දමයි. විකාශය වූ වැඩසටහන අපට කොපමණ වැදගත් වුවත් ඔහුගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉවසා සිටීමට අපට සිදුවෙයි.
පෙර පාසල් යාමට පෙර ඔහුගේ ලෝකය අප දෙදෙනා සහ ඔහුව රැක බලාගත් ඇන්ටී සහ කිරිඅම්මා පමණි. ඔහුට මිතුරන් සිටියේ නැත. සම වයසේ කුඩා ළමුන් කෙරෙහි ද ඔහුගේ විශේෂ ඇල්මක් තිබුනේ නැත. කිසිවෙක් ඔහුගේ අතින් අල්ලනවාටවත් ඔහුගේ කැමැත්තක් තිබුණේ නැත. කෙසේ වෙතත් අද වනවිට තත්වය සම්පූර්ණයෙන් වෙනස් ය. දැන් ඔහුට මිතුරෝ සිටිති. කල්ලි ගැසී සෙල්ලම් කිරීමට, බයිසිකල් පැදීමට දැන් ඔහු මහත් රුචියක් දක්වයි. ඔහුගේ නෑදෑ සහෝදර සහෝදරියන් මෙන්ම අවට නිවෙස්වල කුඩා ගැහැණු පිරිමි ළමුන් සමඟ ද දැන් ඔහු නිදහසේ සෙල්ලම් කරයි. සැබැවින් ම එය පැහැදිලි වෙනසකි.
ඔහුගේ පවුලට මල්ලීගේ පැමිණීම ද ඔහුගේ එතෙක් පැවති හැසිරීමේ රටාව වෙනස් කළ එක් සාධකයක් බව අපගේ හැඟීමයි. ඔහුට මල්ලී නැතුවම බැරි ය. මල්ලී නිදියනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැත. ඔහු මල්ලීට බෙහෙවින් ආදරය කරයි. එහෙත් ඔහුගේ සෙල්ලම් බඩු මල්ලී සමඟ බෙදා ගැනීමේ දී එය වලංගු නැත. මල්ලී ද අයියාගේ සෙල්ලම් බැලීමට බෙහෙවින් කැමැත්තක් දක්වයි.
මිදුලේ වැලි සෙල්ලම් කිරීම සහ කල්ලි ගැසී හෝ තනිව බයිසිකල් පැදීම ඔහුගේ ප්‍රධාන ක්‍රියාකාරකම් වෙයි. එසේ නොකරන අවස්ථාවල අපගේ දුරකථනවලින් හෝ ‘ටැබ්‘ එකෙන් සින්දු බැලීම, වීඩියෝ ක්‍රීඩා කිරිම හෝ මා එහි ස්ථාපනය කොට ඇති අධ්‍යාපන වටිනාකමක් ඇති යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීම ඔහුගේ සිරිතයි. පොදුවේ ගත් කළ මෙම උපකරණ ළමා මනස සංවර්ධනයට හානිකර බව පිළිගත් මතය උවත්, එමගින් ඔහුගේ බුද්ධි වර්ධනයට මහත් රුකුලක් වන බව මගේ විශ්වාසයයි. අවධාරණයෙන් කිව යුත්තේ ඔහු මේ උපකරණ සඳහා ‘ඇබ්බැහි වී‘ නැති බවයි.
ඔහුගේ පෙර පාසල් ජීවිතය, නිවසේ ජීවිතය සමඟ මිශ්‍ර නොකර ගැනීමට ඔහු සෑම විටම වග බලා ගනියි. පෙර පාසලේ සිදුවන, කරන කිසිවක් ඔහු අප සමඟ නොපවසයි. අකුරු ලිවීම, රූප ඇඳීම වැනි දෑ සිදු කළ යුත්තේ පෙර පාසලේ දී පමණක් බව ඔහු විශ්වාස කරයි. නිවසේ දීද ඒ සඳහා උනන්දු විය යුතු බව හා ගුරුතුමිය නිවසේ දී කිරීම සඳහා දී ඇති දේ කළ යුතු බව ඔහුට ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කර වෙයි. ඔහුට කොළයක් සහ පෑනක් දුන් සෑමවිටම එහි බස් එකක් ඇඳ දීමට අපට සිදුවෙයි. කෙසේ වෙතත්, ඔහුගේ එම අධ්‍යාපන කටයුතු කෙරෙහි දෙමව්පියන් ලෙස අප මීට වඩා උනන්දු විය යුතු බව අපට සිතෙයි.
සාරාංශයක් ලෙස ගත් කළ, සම වයසේ වෙනත් දරුවන්ට වඩා තරමක් වෙනස් ගති පැවතුම් තිබූ ඔහු ක්‍රමයෙන් සාමාන්‍ය දරුවෙකු වන අයුරු අපට පෙනෙයි. ඔහුගේ පෙර පාසල ඒ සඳහා ඉතා විශාල මෙහෙවරක් සිදුකරන බව අප අවබෝධ කොට ගෙන සිටියි. ඔහු සම්පූර්ණයෙන් ම සාමාන්‍ය ළමයෙකු වනු දැකීම අපගේ පැතුමයි.
2015-07-30
No comments:
Post a Comment