Sunday, July 13, 2008

Kru ද? Krae ද?



ඔය කවුරුවත් මීට කලින් කවදාවත්ම හිතල තියනව ද අපි කොහොමද සිංහලෙන් "Krae" සද්දෙ ලියන්නෙ කියල...
අයියෝ, ඕක හිතන්නත් දෙයක් ද...
"Krae" සද්දෙ ලියන්නෙ 'ක්‍රැ' කියලනේ....

ම්... ඒකත් එහෙම ද?
හොඳයි!
එහෙනම් "Kru" සද්දෙ ලියන්නෙ...
"Kru" සද්දෙ ලියන්නෙ 'කෘ' කියල...

ෂුවර් ද?

ඇයි සැක ද?

ඔව් මල්ලී, ඔයා කතන්දරේ පටලවගෙන...
ඔතන පොඩි සිද්ධියක් තියනව දැන ගන්න...

මම කියල දෙන්නම්,
හොඳට අහගන්න...

මෙහෙමයි...
අපි 'ක්‍ර' කියන්නෙ "ක් + ර" කියන එකතුවට...
එතකොට 'ක්‍රෙ', 'ක්‍රි', 'ක්‍රො' කියන්නෙ පිළිවලින්,
"ක් + රෙ", "ක් + රි", "ක් + රො" එකතු...
ඒ කියන්නෙ,
අපි 'ක'යන්නට එකතු කරන්නෙ 'ර'යන්නට අදාළ පිල්ල!
(කොහොමත් "රකාරාංශය" කියන්නෙම අකුරකට 'ර'යන්න එකතු වෙනව කියන එකනෙ...)

ඉතිං ප්‍රශ්නෙ පටන් ගන්නෙ අපි සාමාන්‍යයන් 'ර'යන්නට 'උ' කාරය සහ 'ඇ' කාරය එකතු කරන විදියෙ තියන අවුලත් එක්ක...
ඒ කිව්වෙ, අපි "ර් + උ" ලියන්නෙ 'රු' කියල!
යුනිකෝඩ් විජේසේකර යතුරු පුවරුවෙන් ඕක ටයිප් කරද්දි ගහන්න ඕනෙ 'ර' + 'ු' කියල...
('ර' + 'ැ' නෙමෙයි...)
ඒක හරි! මොකද 'රු' කියන්නෙ 'ර'යන්නට 'උ'කාරයේ පිල්ල එකතු උනහම හැදෙන අකුර. අනිත් අකුරුවලටත් 'උ'කාරය එකතු වෙන කොට අපි ටයිප් කරන්නෙ ඒ අදාල අකුරයි, 'උ'කාරයේ පිල්ලයි, ඒ කියන්නෙ 'ු'යන්නයි...
උදාහරණ විදිහට ගත්තොත්,


  • න් + උ = න + ු = නු

  • ම් + උ = ම + ු = මු

  • ක් + උ = ක + ු = කු


ඒ කියන්නෙ මුල් අකුරට අදාළ විදිහට සංයෝජිත අකුරෙ අවසන් පෙනුම වෙනස් වෙනවා. ඒත් හැබැයි ඒකටත් නීතියක් නම් නැහැ වගේ...



'හ'යන්නයි 'භ'යන්නයි අරන් බලන්න...



  • හ් + උ = හ + ු = හු

  • භ් + උ = භ + ු = භු

ඒ අකුරු දෙක පෙනුමට එක වගේ, ඒ උනාට අන්තිම ඵලය වෙනස්.



ඉතින් 'ර'යන්නටත් 'උ'කාරය එකතු උනහම 'රු' වෙනවා, ඒකෙ පෙනුම එහෙමයි...


ඒකට අපිට කරන්න දෙයක් නෑ...



හැබැයි අවුල වෙන්නෙ, ඒකෙ පෙනුම අනිත් අකුරුවලට 'ඇ'කාරය එකතු උනහම එන පෙනුමට සමාන වීම!


උදාහරණ විදිහට ගත්තොත්,



  • න් + ඇ = න + ැ = නැ

  • ම් + ඇ = ම + ැ = මැ

  • ක් + ඇ = ක + ැ = කැ

ඉතින් අපිට 'ර'යන්නට 'ඇ'කාරය එකතු කරන්න ඕන උනහම අපි කරන්නෙ මේ සංකේතයම පොඩ්ඩක් උඩින් ලියනවා...
ඒ කිව්වේ, ර් + ඇ = ර + ැ = රැ
(දීර්ඝ පිලි දානකොටත් කතාව ඒකමයි... වෙනසක් නෑ)



හරි! දැන් අපි බලමු අපිට ඒක ප්‍රශනයක් වෙන්නෙ කොතනදි ද කියල...



අපි 'ර'යන්න රකාරාංශය විදිහට තවත් අකුරකට එකතු කරන කොට, 'ර'යන්නට යම් පිල්ලක් එකතු වෙලා තිබ්බනම්, අපි ඒකත් ඒ අකුරටම එකතු කරනවා...



ඒ හින්ද තමයි,



  • ක් + රි = ක්‍රි

  • ක් + රෙ = ක්‍රෙ

  • ක් + රො = ක්‍රො විදිහට එන්නේ..


ඒත්, ක් + රැ ගත්තොත් අපිට පුළුවන් 'ර'යන්නෙ තියන 'ඇ'කාරය 'ක'යන්නට එකතු කරන්න...


එතකොට, ක් + රැ = ක්‍රැ (kre) වෙනවා...
හැබැයි, අපි 'රු' සහ 'රැ' අතර වෙනස ගන්න 'රැ'යන්නෙදි පිල්ල පොඩ්ඩක් උස්සපු එක 'ක්‍රැ' ලියන කොට කරන්න බැරුව යනවා...



අන්න එතනින් තමා අවුල පටන් ගන්නේ...



අපි, ක් + රු = kru, ,ලියන්නෙ කොහොම ද?



පෙනුමට නම්, ක් + ර + ැ = ක්‍රැ වෙන්න ඕනේ...
ඒත් ඇත්ත පිළිවල ක් + ර + ු නේ...



ඉතින්, ඕක කොහොම ද ලියන්නේ...



අවුලක් තියෙනව නේද?


ඒකනෙ මම කිව්වේ...



ඕක කොහොම ද ලියන්නෙ කියල තාම සිංහල භාෂාවෙ අර්ථ දක්වල නැහැ... විවිධ මත නම් තියනවා, ඒත් ඒව පිළිගත් ස්ථිර මත විදිහට ඉදිරියට ඇවිත් නැහැ... ඒක හින්ද තමයි වින්ඩෝස්වල හරි ලිනක්ස්වල හරි ඕක ලියන කොට ක් + ර + ු = ක්‍රු විදිහට එන්නේ...



ඉතින් ඕක 'බග්' එකක් කියල කියන්නත් බෑ නේද...


එහෙමනම් ඕක සිංහල භාෂාවෙම තියන 'බග්' එකක් වෙන්න ඕනේ...



තාම ඒක හරියට අර්ථ දක්වල නැති හින්දා, ෆොන්ට් හදන අය ඔය අකුරු පිලිවළ එනකොට 'ක්‍රු' විදිහට පේන්න දැනට හදල තියනවා...



ඉතින් ඔන්න ඕකයි කතන්දරේ...



ඔය ප්‍රශ්නෙට සිංහල පඬිවරුන්ගේ මතය තමයි, 'ක්‍රැ' කියන එක සිංහල භාෂාවෙ දි ශබ්ද කරන්නෙ "kru" කියල... ඒක හින්ද තමයි "ධ්‍රැවය" කියන එක උච්චාරණය කරන හරි විදිය "druvaya" වෙන්නේ... හැබැයි අපි කවුරුත් ඕක දන්නෙ නැති හින්ද ඕක "draevaya" කියල කියනවා...



පඬිවරු කියන විදිහට අපේ සිංහල භාෂාවෙ "krae" කියල ශබ්දයක් නැහැ... ඒක හින්ද ඒක ලියන විදියෙ ගැටලුවක් පැන නැගිල නැහැ...
හැබැයි, ඉංග්‍රීසි වචන සිංහලට ආවත් එක්කම වැඩේ අවුල් උනා... "krae" ශබ්දය ඒ වචනත් එක්ක සිංහලට ආවා... "ක්‍රැකර්", "ට්‍රැක්ටර්", "බ්‍රැන්ඩි" වගේ වචන එහෙම ආපුවා... දැන් කොච්චර වැඩේ බරපතල උනාද කියනවනම් මිනිස්සු නිතැතින්ම 'ක්‍රැ' කියන එක "krae" කියල කියන්න ගත්තා... ඒක හින්ද තමයි,


"druvaya" -> "draevaya" උනේ...



ඒත්, මිනිස්සුන්ට "ක්‍රෑර" කියන එක "kreara" කියල කියන්න බැහැනේ.... ඒ හින්ද මිනිස්සු ඒක "කෲර" කියල ලිව්වා, හැබැයි සෛදාන්තිකව ඒක වැරදියි.... මොකද 'ෲ' කියන්නෙ 'ඎ' ස්වරයෙ පිල්ල මිසක් 'ඌ' ස්වරයෙ පිල්ල නෙමේ හින්දා... ඒත් ඉතින් භාවිතයට ඉඩ දුන්නොත්, අපිට අර විකල්පය පිලිගන්න වෙනවා...



මොනව කරන්න ද ඉතින්...


මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්...

Sunday, June 15, 2008

බ්ලොග්...!

අහල තියනවද මේ ගැන.., මාරයි...
නිකං ලු... ඕන දෙයක් ලියන්න පුළුවන් ලු!
කාගෙන්වත් බාදාවක් නැහැලු!
වාරණ, සංස්කරණ, සංශෝධන,... ඒව මුකුත් නැහැල්ලු!
හැබැයි, ආචාර ධර්ම කියල දෙයක් නම් තියනව ලු... ඒක රැක්කොත් හොඳයි ලු!
ඕකනං මොකද්ද, අපි ඉතිං කවදත් විනීත සුවිනීත පුරවැසියො නේ...
ඉතිං...
මමත් ලියන්නයි කල්පනාව... නිකං නේ...
මොනවද ලියන්නේ... ඒව පස්සෙ බැරියැ හිතන්න...
ඉස්සෙල්ල පටන් අරං ඉම්මුකෝ...
මොනව කරන්නත් හොඳ ආරම්භයක් තියෙන්න එපායැ...
පසුගාමී වෙන්න හොඳ නෑ... ධනාත්මකව හිතන්න ඕනෑ...
ඒත්...
ඇයි මේ විකාර ලියන්නේ...
.
.
.
නිකං ඉන්න බැරුවට...!